Tuesday, January 3, 2017

දිවියා සහ වසු­පැ­ටියා

දව­සක් වසු පැටි­යෙක් තනි­යම තණ­කොළ කකා ඇවි­ද­ගෙන ගියා. මේ යන අත­ර­තු­රේදී ලොකු වතුර පිපා­ස­යක් දැනිල ළඟ තිබුණු දිය­ක­ඩි­ත්ත­කින් වතුර බොන්ට ලෑස්ති වුණා. මෙහෙම වතුර බොන්ට දිය­ක­ඩි­ත්තට එන සතුන් අල්ලා­ගෙන කෑම දිවි­යාගේ සිරි­තකි. මේ වහු­පැ­ටි­යත් එහෙම හැංගිලා හිටපු දිවි­ය­කුට අසු­වුණා. 

වසු පැටියා හොඳ­ටම බය­වෙලා “අනේ! මේ මොක­ටද මාව අල්ල­ගන්නෙ? ඔයාගෙ බඩ­පි­රෙන තර­මට මගේ මස් නෑ. මම ළපටි මස් තියෙන කෙනෙක්. මගේ මස් රස නෑ. මාව අත­හ­රින්ට.” වසු­පැ­ටියා දිවි­යට පින්සෙණ්ඩු වුණා. “ටික දව­ස­කින් මම ලොකු වේවි වැඩි­යෙන් තණ­කොළ කෑවාම. මම එහෙම ලොකු වුණාම ඔබට කෑම සඳහා මෙතැ­න­ටම එනවා. එත­කොට ඔයාට හිත පුරාම මගෙ මස් කෑමට පුළු­වන්.” 

මේ විදි­හට වසු­පැ­ටියා දුක කිය­න­කොට දිවි­යට දුක හිතුණා. “ඔයා ඔය කියන්නෙ ඇත්ත­මද?” දිවියා අහ­නවා. “ඔයා ලොකු වුණාම මගෙ ගොදු­රට එනව ද?” 

“මට මෙත­රම් උප­කා­ර­යක් කරපු ඔබ අම­තක කරන්නෙ නෑ. සත්තයි මම මෙතැ­න­ටම එනවා ඔබගෙ ගොදුර සඳහා” වසු­පැ­ටියා කිව්වා. 

“හා හොඳයි මට අද ලොකු බඩ­ගි­න්නක් නෑ. ඔබේ ඉල්ලී­මට මම ඉඩ දෙනවා. හැබැයි, වසු පැටියෝ කියපු වචනෙ වෙනස් කරන්ට එපා!” දිවියා කිය­නවා. 

හැබැයි මේ දිවියා ගිවි­සුම් ලකු­ණක් හැටි­යට වසු­පැ­ටි­යගෙ කනෙන් කුඩා කොට­සක් කඩා ගත්තා. ඔහොම ටික කල­කින් වසු­පැ­ටියා වැඩුණු ගොන් නාම්බෙක් වුණා. ඌට ශක්ති­මත් අං තට්ටු­ව­කුත් තිබුණා. එක දව­සක් දිවි­යාට ගොන් නාම්බා මුණ ගැහුණා. දිවි­යට තරහ ගිහින් “උඹ ඔය වච­නය ඉෂ්ට කරපු හැටි ද? හොඳයි, අද මම උඹව කනවා” කියල ගොන් නාම්බාට පනින්න ලෑස්ති වුණා.

“මගේ වචනෙ ඉෂ්ට කරන්ට තමා මෙතැ­නට ආවේ. ඉතින් ඉස්සර වෙලා ඔයා කැලේට ගිහින් කබ­රැස්ස වැලක් ගෙනල්ලා මා බඳින්ට. නැත්නම් මං බය­වෙලා දුවන්ට පුළු­වන්” ඉතින් දිවි­යත් කැලේ තිබුණු කබ­රැස්සා වැලක් ඇද­ගෙන ඇවිල්ලා ගොන් නාම්බාගෙ කරේ එක කෙළ­ව­රක් ගැට­ග­හල අනිත් කෙළ­වර දිවි­යගෙ කරේ ගැට ගහ­ගත්තා. 

ගොන් නාම්බා කිය­නවා “මා දිව්වත් ඔබට මා අල්ලා ගන්ට පහ­සු­යිනේ.” මෙහෙම කියපු ගොන් නාම්බා වලි­ගය කෙළින් කර­ගෙන දුවන්ට වුණා. වැලේ අනිත් කෙළ­වරේ ඉන්න දිවි­යත් ගොන් නාම්බා පස්සෙ ඇදි ඇදී ගස් ගල්වල හැපි හැපී යනවා. 

ඒ යන ගමන් දිවි­යට හිතෙ­නවා “මම මේ ගොන් නාම්බට රැව­ටුණා” කියලා දිවියා කවි­යක් කිය­නවා. 

පොඩි­කොට නොකෑ කොට 
ලොකු කොට කන්ට බැරි කොට 
මා අත වරද කොට 
ගස්ස ගස්සා නාදු කන් කොට"

මේක ඇහුණ ගොන් නාම්බා කිය­නවා 

"බාලෙදි නොහැකි කොට 
ගැලවී ගියා දඟ කොට 
දැන් හැකි නිසා මට 
තෝත් ඇද­ගෙන යනවා නිර­යට"

ගොන් නාම්බා කවිය කියල වේග­යෙන් දුවන්ට පටන් ගත්තා. ටික වේලා­ව­කින් දිවියා ගල්මු­ල්වල හැපි­ලාම තුවාල වුණා. ගොන් නාම්බා මඟ නැව­තිලා හිත­නවා කුඩා කල මාව අල්ලා­ගෙන කෑවෙ නැහැනෙ. ලොකු වුණාම කන්ට පොරොන්දු වෙලා මාව අත­හැ­රි­යනෙ. එහෙම හිතල ගොන් නාම්බා කබ­රොස්ස වැලේ කෙළ­වර දිවි­යගෙ කරෙන් ගල­වල නිද­හස් කළා. දිවියා අමා­රු­වෙන් ගාට ගාට කැලේ ඇතු­ළට ඇවි­ද­ගෙන ගියා. 
(ජන­ක­තා­වක් ඇසු­රෙනි.) 

එනිදු සුප­සන් ප්‍රේම­සු­න්දර 
3 ශ්‍රේණිය ‘බී’, කේරි විදු­හල, කොළඹ - 08 (සිළුමිණ පුවත්පතෙන් උපුටා ගන්නා ලදී)

Sunday, January 1, 2017

ලංකාවේ විතරක් ඉන්න කුරුල්ලන් ටිකක්

ලංකාවට ආවේණික මේ කුරුල්ලන්ගේ පිංතූර ටික උපුටා ගත්තේ සක්වළ ෆේස්බුක් පිටුවෙන්.





























මං කැමතියි අනාගතේ වෛද්‍යවරියක් වෙන්න. මගේ අම්මා වගේ අයව සනීප කරන්න

නෙත්මි දහරා 2016 වසරේදී පහේ ශිස්‍යත්ව විභාගය සමත් වුණා. 

ඒත්, ඇය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ තවත් එක් දැරියක් විතරක් නෙමෙයි. 

හක්මණ ඇල්ලෙවෙල කණිටු විදුහලෙන් ඇය පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් වුණේ වසර 40කට පසුවයි. 

“මං කැමතියි අනාගතේ වෛද්‍යවරියක් වෙන්න. මගේ අම්මා වගේ අයව සනීප කරන්න," නෙත්මි පවසනවා. 

නෙත්මිගේ අම්මාත්, තාත්තාත් මානසික අබාධ සහිත පුද්ගලයන් දෙදෙනෙක්. දුප්පත්කමට විතරක් නෙමෙයි අවාසනාවටත් එරෙහිව අරගල කර ඉදිරියට යන මෙවැනි දරුවන් පුංචි ඔබටත් ආදර්ශයක්.

 

Saturday, December 31, 2016

සරදියෙල් නම් ගෝනුස්සා

ගෝනුස්සා කියන්නේ ඔබ එතරම් ප්‍රිය කරන සතෙකු නො වෙන්නට පුළුවන්. ඒත්, මෑතදී ගෝනුස්සකුට දාපු සුවිශේෂ නමක් නිසා ගෝනුස්සන් ගැන කතාබහක් ඇති වුණා.

ලංකාවේ ගෝනුස්සන් වර්ග 18ක් ඉන්න බව මෑතදී කරපු පරීක්ෂණයකින් සොයා ගත්තා. ඒ අතර සෙන්ටිමීටරයක් විතර දිග ලොව කුඩා ම ගෝනුස්සාත්, අඟල් නවයක් විතර දිග ලොව ලොකු ම ගෝනුසු වර්ගයත් ලංකාවේ ජීවත් වෙනවා. මේ දෙවර්ගයත් එක්ක ලංකාවේ ජීවත් වන ගෝනුසු වර්ග 18න් 14ක් ම ලංකාවට ආවේණිකයි.

ලංකාවේ අලුතෙන් සොයා ගත් ගෝනුසු වර්ග හතරෙන් එක් වර්ගයක් Charmus saradieli ලෙස නම් කළේ සරදියෙල්ව සිහිපත් වෙන්නටයි. සරදියෙල් කවුරුද කියලා දන්නෙ නැතිනම් වැඩිහිටියකුගෙන් අසා දැනගන්න.

මේ සරදියෙල් ගෝනුස්සා විෂ සහිත එකෙක් නෙමෙයි. එහෙත්, ඌ පැන පැන පහර දෙන සතෙක්.

ගෝනුස්සන් ගැන අලුත් පරීක්ෂණය කරන්නට හේතු වුණේ යාපනයෙන් මාරාන්තික විෂ සහිත ගෝනුස්සකු සොයා ගැනීම නිසායි. යාපනයේ හඳුනා නො ගත් විෂ දෂ්ටන නිසා මිනිසුන් ගණනාවක් ම මිය යාමෙන් පසුව, එක් මිනිහෙක් රෝහල්ගත වුණේ තමන් දෂ්ට කළ කහ පැහැති ගෝනුස්සාවත් රැගෙනයි. ඔහුට එන්නත් කළ ප්‍රති විෂ ක්‍රියාකාරී වුණේ නැහැ. අවසානයේ සෙසු අය වගේ ම ඔහුත් වකුගඩු අක්‍රිය වී මිය ගියා.

ඉන් පසුව මේ ගෝනුස්සා පරීක්ෂාව පිණිස පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයට යොමු කරනවා. ගෝනුස්සා හඳුනා ගන්නට ලෝක ප්‍රකට චෙක් ජාතික ගෝනුසු විශේෂඥයකු වන මහාචාර්ය ශ්‍රී ලාංකික මහාචාර්ය කිත්සිරි රණවකට උදව් කරනවා. ඌ දකුණු ඉන්දියාවේ එහෙමත් ජීවත් වන විෂ සහිත ගෝනුස්සකු බව හඳුනා ගන්නවා. දැන් යාපනය රෝහලේ ඒ ගෝනුස්සා දෂ්ට කළ මිනිසුන් බේරා ගන්නට අවශ්‍ය එන්නත් තිබෙනවා.

ලොව පුරා ගෝනුසු වර්ග 1750ක් පමණ දැනට හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 25ක් පමණ මිනිසකු මරන්නට තරම් විෂයි. ඇන්ටාක්ටිකාවේ හැර ලොව අන් හැම තැනක ම වාගේ ගෝනුස්සෝ ජීවත් වෙනවා.

ගෝනුස්සා මාංශභක්ෂක නිශාචර සතෙක්. ඌ උගේ අඬු දෙකෙන් අල්ලා ගන්නා ගොදුර වලගයේ ඇති විෂ දළයෙන් පහර දී මෙල්ල කර ආහාරයට ගන්නවා. එක වර විශාල ආහාර ප්‍රමාණයක් ගිල දමන නිසා ඌට මාස හයකට වඩා කිසිදු ආහාරයක් නැතිව ජීවත් වන්නට පුළුවන්. ඌ බොහෝ විට ආරක්ෂිත අහු මුල්ලක අක්‍රිය ජීවිතයක් ගත කරනවා.

ගෝනුස්සා බිත්තර නො දමා පැටවුන් හතක් අටක් බිහි කරන සතෙක්. සමහර විට පැටවුන් 25ක් 30ක් දමන ගෝනුස්සෝත් ඉන්නවා.

ගෝනුස්සා වෘශ්චික ලග්නයේ සංකේතයයි. සුභාෂිතය කියන ඉපැරණි සිංහල කාව්‍ය ග්‍රන්ථයේ එන පහත දැක්වෙන කවියේ නුහුසුවන් කියන්නේ ගෝනුස්සන්ටයි.

‘කුරිරු ගොර සපුන්ගේ දළගෙහි විස ය
මදුරු මැසි කැලන්ගේ තුඩගෙහි විස ය
රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විස ය
නපුරු දුදනන්ගෙ සියලඟෙහි ම විස ය’

ගෝනුස්සන්ගේ ලස්සන පිංතූර ටිකක් මෙතැනින් බලන්න. දන්නවා ද? ගෝනුස්සා ඇතැම් රටවල රසවත් ආහාරයක්. 

Wednesday, December 21, 2016

තාත්තා හා ඔලිම්පික් පදක්කම

ඩෙරෙක් රෙඩ්මන්ඩ් බ්‍රිතාන්‍ය ජාතික මලල ක්‍රීඩකයෙක්. 

1992දී ස්පාඤ්ඤයේ බාසිලෝනාහි පැවති ඔලිම්පික් තරගයේදී ඔහු මීටර් 400 රන් පදක්කම ඉලක්ක කරගෙන ධාවනයේ යෙදුණා. 

 එහෙත් අවසන් පූර්ව තරගයේදී ඔහුගේ මස්පිඬු ඉරී යාමක් නිසා ඔහු ධාවන පථයේ නැවතුණා. 

ඒ වුණාට තරගය අතරමග අතහැර දමන්නට ඔහුට හිතුණේ නැහැ. ඒ නිසා ඔහු අමාරුවෙන් ඉදිරියට ගියා. ඔහුට උවමනා වුණේ තරගය අවසන් කරන්නට විතරයි. 

ඒ අතර, ආරක්ෂක විධිවිධාන නො තකා හරිමින් පුද්ගලයෙක් ධාවන පථයට පිවිසියා. 

 “පුතේ, ඔයා මේ වැඩේ කරන්න එපා," යි ඔහු කීවා.

“නෑ, මම කරනවා," ඩෙරෙක් කිව්වා. 

 “හරි. එහෙනම් අපි දෙන්නම ඒක කරමු," යි කියමින් අමුත්තා ඔහු වත්තම් කරගෙන තරග අවසානය ආසන්නයට ඔහු රැගෙන ගියා. 

ඒ තමයි ඩෙරෙක්ගේ තාත්තා. 

නරඹන්නකුගේ බාධා කිරීමක් නිසා අහිමි වූ ඔලිම්පික් රන් පදක්කම

ලෝකයේ ගොඩක් දෙනා ජීවිතයේ විවිධ ගැටලු වලදී වැටුනම ආයෙ නැගිටින්න උත්සහ කරන්නෙ නෑ. එයාලා හිතන්නේ දැන් ඔක්කොම ඉවරයි කියලා. ඒත් වැටිච්ච තැනින් නැගිටින්න වෙර දරණ උත්සහවන්ත පුද්ගලයා අනිවාර්යයෙන්ම ජයගන්නවා. මේ එවන් කතාවක්.

2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ගිනි සිළුව දල්වන්නට යෙදී තිබුනේ බ්‍රසීල ක්‍රීඩකයෙක් වන ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක පේලේ අතිනි. නමුත් අවාසනාවන්ත අයුරින් පේලේ අසනීප තත්වයෙන් බොහෝ අසාධ්‍යව සිටි නිසා ඔහුට මෙම ගිනි සිළුව දල්වන්නට නොහැකි වූවා. ඒ වෙනුවට ගිනිසිළුව දැල්වූයේ බ්‍රසීලයේ ක්‍රීඩා වීරයෙක්. ඒ තමා වැන්ඩෙලේරි කොර්ඩේරියෝ දෙ ලාමා.

මොහු මැරතන් ධාවකයෙක්. උපන්නේ 1969 අගෝස්තු 11. මේ ක්‍රීඩකයා ලොව අවධානයට ලක් වුණේ 2004දී ග්‍රීසියේ ඇතැන්ස් නුවර පැවැත්වූ ඔලිම්පික් උලෙලේදී ඔහුට සිදුවූ ඇබැද්දිය නිසායි.

මැරතන් ධාවන තරඟයේ ක්‍රීඩා කරමින් සිටි ඔහුට විරෝධතාකරුවෙක් බාධා එල්ල කළා. ඒ වන විට කිලෝමීටර් 35ක් ධාවනය කර සිටි ඔහු තරගයේ ඉදිරියෙන්ම සිටියා. 

එම විරෝධතාකරුවාගේ නම කොර්නේලියස් හොරාන් වන අතර ඔහු අයර්ලන්ත පූජකයෙකි. (ඊට පසු අවුරුද්දේ එනම් 2005 දී මොහුව පූජක තනතුරෙන් නෙරපන ලදී.) 

කෙසේ හෝ මේ විරෝධතාකරුවාගෙන් ගැලවුණු දෙ ලාමා නැවතත් තරඟයට අවතීර්ණ වුණා. දෙ ලාමා අවසානයේ තරඟය අවසන් කළේ ලෝකඩ පදක්කම දිනා ගනිමින්. විරෝධතාකරුවා නොසිටියානම් දෙ ලාමාට රන් පදක්කම දිනා ගැනීමට අවස්ථාව තිබුණා. 

තුන්වන ස්ථානය දිනා ගනිමින් ඔලිම්පික් පිටියට පිවිසි දෙ ලාමා ඒ කණගාටුදායක සිද්ධිය අමතක කරමින් ප්‍රීතිය සැමරූ හැටි පහත වීඩියෝවෙන් නරඹන්න. 

 - මිතිල ප්‍රනාන්දු විසින් තබන ලද සටහනකින් උපුටා ගන්නා ලදී.

Thursday, December 15, 2016

කූරුවලින් කෑම කමු

චොප්ස්ටික් හෙවත් කෑම කන කූරු මගින් කෑම කන්න ඔබට පුළුවන් ද?

වෙනත් අය එහෙම කෑම කන හැටි ඔබ දැක ඇති. 

උත්සාහ කරලා බලලා තියෙනවා ද? ඒක ලේසි වැඩක් නෙමෙයි. 

කොහොමද චොප්ස්ටික්වලින් කෑම කන්නෙ? 

පහළ වීඩියෝවක අපි එය පැහැදිලි කරනවා.

චොප්ස්ටික් ගැන විස්තර ටිකක් ඊට පහළින් තියෙනවා. ඒවාත් කියවන්න. 

චොප්ස්ටික් භාවිතය පටන් අරගෙන තිබෙන්නේ අවුරුදු 5000කට විතර කලින් චීනයේයි. මුලින් ම මේ වෙනුවෙන් භාවිතා වන්නට ඇත්තේ අතු රිකිලි. පසුව සත්ව ඇටත් භාවිතා කර තිබෙනවා. 

ඉන් පසුව, චොප්ස්ටික් භාවිතය ජපානය, වියට්නාමය, කොරියාව වැනි අනෙකුත් නැගෙනහිර ආසියාතික රටවලටත් පැතිරුණා. 

මුල් කාලයේ ජපන් ජාතිකයන් භාවිතා කළ උණ පතුරුවලින් හැදූ චොප්ස්ටික් අදත් ජනප්‍රියයි. 

චොප්ස්ටික් එක්ක බැඳුණු සංස්කෘතියක් ද තිබෙනවා. හරියට හැඳි ගෑරුප්පු එක්ක බැඳුණු සංස්කෘතියක් තිබෙනවා වගේ. 

අතින් කන එකටත් සංස්කෘතියක් තියෙනවා නේ. 

චොප්ස්ටික්වලින් කන හැටි මෙන්න මේ වීඩියෝවෙන් ඉගෙන ගන්නට පුළුවන්.