ගෝනුස්සා කියන්නේ ඔබ එතරම් ප්‍රිය කරන සතෙකු නො වෙන්නට පුළුවන්. ඒත්, මෑතදී ගෝනුස්සකුට දාපු සුවිශේෂ නමක් නිසා ගෝනුස්සන් ගැන කතාබහක් ඇති වුණා.
ලංකාවේ ගෝනුස්සන් වර්ග 18ක් ඉන්න බව මෑතදී කරපු පරීක්ෂණයකින් සොයා ගත්තා. ඒ අතර සෙන්ටිමීටරයක් විතර දිග ලොව කුඩා ම ගෝනුස්සාත්, අඟල් නවයක් විතර දිග ලොව ලොකු ම ගෝනුසු වර්ගයත් ලංකාවේ ජීවත් වෙනවා. මේ දෙවර්ගයත් එක්ක ලංකාවේ ජීවත් වන ගෝනුසු වර්ග 18න් 14ක් ම ලංකාවට ආවේණිකයි.
ලංකාවේ අලුතෙන් සොයා ගත් ගෝනුසු වර්ග හතරෙන් එක් වර්ගයක් Charmus
saradieli ලෙස නම් කළේ සරදියෙල්ව සිහිපත් වෙන්නටයි. සරදියෙල් කවුරුද කියලා දන්නෙ නැතිනම් වැඩිහිටියකුගෙන් අසා දැනගන්න.
මේ සරදියෙල් ගෝනුස්සා විෂ සහිත එකෙක් නෙමෙයි. එහෙත්, ඌ පැන පැන පහර දෙන සතෙක්.
ගෝනුස්සන් ගැන අලුත් පරීක්ෂණය කරන්නට හේතු වුණේ යාපනයෙන් මාරාන්තික විෂ සහිත ගෝනුස්සකු සොයා ගැනීම නිසායි. යාපනයේ හඳුනා නො ගත් විෂ දෂ්ටන නිසා මිනිසුන් ගණනාවක් ම මිය යාමෙන් පසුව, එක් මිනිහෙක් රෝහල්ගත වුණේ තමන් දෂ්ට කළ කහ පැහැති ගෝනුස්සාවත් රැගෙනයි. ඔහුට එන්නත් කළ ප්‍රති විෂ ක්‍රියාකාරී වුණේ නැහැ. අවසානයේ සෙසු අය වගේ ම ඔහුත් වකුගඩු අක්‍රිය වී මිය ගියා.
ඉන් පසුව මේ ගෝනුස්සා පරීක්ෂාව පිණිස පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයට යොමු කරනවා. ගෝනුස්සා හඳුනා ගන්නට ලෝක ප්‍රකට චෙක් ජාතික ගෝනුසු විශේෂඥයකු වන මහාචාර්ය ශ්‍රී ලාංකික මහාචාර්ය කිත්සිරි රණවකට උදව් කරනවා. ඌ දකුණු ඉන්දියාවේ එහෙමත් ජීවත් වන විෂ සහිත ගෝනුස්සකු බව හඳුනා ගන්නවා. දැන් යාපනය රෝහලේ ඒ ගෝනුස්සා දෂ්ට කළ මිනිසුන් බේරා ගන්නට අවශ්‍ය එන්නත් තිබෙනවා.
ලොව පුරා ගෝනුසු වර්ග 1750ක් පමණ දැනට හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 25ක් පමණ මිනිසකු මරන්නට තරම් විෂයි. ඇන්ටාක්ටිකාවේ හැර ලොව අන් හැම තැනක ම වාගේ ගෝනුස්සෝ ජීවත් වෙනවා.
ගෝනුස්සා මාංශභක්ෂක නිශාචර සතෙක්. ඌ උගේ අඬු දෙකෙන් අල්ලා ගන්නා ගොදුර වලගයේ ඇති විෂ දළයෙන් පහර දී මෙල්ල කර ආහාරයට ගන්නවා. එක වර විශාල ආහාර ප්‍රමාණයක් ගිල දමන නිසා ඌට මාස හයකට වඩා කිසිදු ආහාරයක් නැතිව ජීවත් වන්නට පුළුවන්. ඌ බොහෝ විට ආරක්ෂිත අහු මුල්ලක අක්‍රිය ජීවිතයක් ගත කරනවා.
ගෝනුස්සා බිත්තර නො දමා පැටවුන් හතක් අටක් බිහි කරන සතෙක්. සමහර විට පැටවුන් 25ක් 30ක් දමන ගෝනුස්සෝත් ඉන්නවා.
ගෝනුස්සා වෘශ්චික ලග්නයේ සංකේතයයි. සුභාෂිතය කියන ඉපැරණි සිංහල කාව්‍ය ග්‍රන්ථයේ එන පහත දැක්වෙන කවියේ නුහුසුවන් කියන්නේ ගෝනුස්සන්ටයි.
‘කුරිරු ගොර සපුන්ගේ දළගෙහි විස ය
මදුරු මැසි කැලන්ගේ තුඩගෙහි විස ය
රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විස ය
නපුරු දුදනන්ගෙ සියලඟෙහි ම විස ය’
ගෝනුස්සන්ගේ ලස්සන පිංතූර ටිකක් මෙතැනින් බලන්න. දන්නවා ද? ගෝනුස්සා ඇතැම් රටවල රසවත් ආහාරයක්.
No comments:
Post a Comment